Friday 20 July 2012

Heeloya Ancient Temple

හීල්ඔය පුරාණ විහාරස්ථානය - ඇල්ල
 (හීල්ඔය ශ්‍රී සුමංගල පුරාණ විහාරස්ථානය)

බුදු පිළිම වහන්සේ

හීල්ඔය  පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හීල්ඔය ග්‍රාම නිළධාරි වසමේය.බණ්ඩාරවෙල නගරයේ සිට හීල්ඔය මාර්ගයේ, හීල්ඔය කඩ මණ්ඩිය අසලට පැමිණිමට පෙර ඇති සතරමං හන්දියෙන් දකුණු අත පැත්තට ඇති මාර්ගයේ මද දුරක් යා යුතුයි.


චෛත්‍යය
හීල්ඔය විහාරස්ථානයේ ඉතිහාසය, බ්‍රිතාන්‍ය පාලන යුගයේ මුල් අවධිය දක්වාම පැරණිය. බ්‍රිතාන්‍ය පාලන යුගයේ මුල් අවධියේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශිය නායකයකු වශයෙන් කටයුතු කල මුහන්දිරම් නිළමේ තමාගේ ඉඩමක බෝධින් වහන්සේ නමක් රෝපණය කර; "උඩරට කැරැල්ලෙන් පසු ඇතිවු තුන් බිය සමනය කර දෙන ලෙසට අධිෂ්ඨාන කරනු ලැබුවා" ඒ ශ්‍රී බුද්ධ වර්ෂ 2358-2368  (ක්‍රි:ව: 1815-1828 කාලය) අතර කාලයේදී.
පුරාණ සංඝාවාසය
එසේම ඌවේ විහාරවංශය (වි.වා.මු.කිලකසිරි බණ්ඩාර විසින් රචිත) පොතේ 186 පිටුවේ "කන්ද උඩරට සිංහල රාජධානි‍ය ඉංග්‍රිසින්ට අයත් වීමට අවුරුදු පනහකට පමණ පෙර භික්ෂුන් වහන්සේලාගේ හිගය ගැන එවකට සිටි


පුරාණ සංඝාවාසය
විහාරස්ථානයට යාබද ඉඩමේ තැන්නේකුඹුර වලව්වේ විසු විජේසුන්දර රටේ රාළ හා හීල්ඹය පල්ලපේරුවේ ඉඩමේගෙදර විසු දිසානායක අප්පුහාම් යන අය කතිකා කරගත් පරිදි විහාරස්ථානයක් සදවා ......" සගසතු කර ඇති බව සදහන්ය.


බෝධි ප්‍රාකාරය
හීල්ඔය පුරාණ විහාරස්ථානය ඌවේ ඇති පැරණිම මල්වතු මහා විහාර පාර්ශවයට අයත් විහාරස්ථානයයි. එයට හේතුව වන්නේ ඌවේ ඇති මල්වතු  මහා විහාර පාර්ශවයට අයත් පැරණිතම පොහෝය ගෙය පිහිටා ඇත්තේ මෙම විහාරස්ථානයේ වීමයි.

විහාරස්ථානයේ චෛත්‍යය. බෝධිය, පිළිම ගෙය යන ඒවා සතරැස් පවුරකින් වටකොට සාදා තිබේ. පවුරේ පහන් තැබිමට හැකි ආකාරයට ත්‍රිකෝණාකාර කවුළු නිර්මාණය කර ඇත. පුරාණ බෝධිය, බෝධි ප්‍රාකාරයකින් වට කර ඇත. බෝධි ප්‍රාකාරයේ ශ්‍රී බුද්ධ වර්ෂ 2458 (ක්‍රි:ව: 1915) වශයෙන් සදහන් කර ඇත.
බෝධි ප්‍රාකාරය

පිළිමගේ දෙස දේවාල දෙකකී. පිළිමගේ හිදි පිළිමය හැර ඉතිරි සියළුම රූප මුර්තියෙන් කැටයම් කර ඇත. එසේම බිතු සිතුවම් ද ඇද ඇත. විහාර ගෙට ඇතුළු වන ද්වාරයට උඩින් ඇත්තේ මකර තොරණ නිර්මාණය කර ඇත. මුර්තියෙන් සහ චිත්‍ර වලින් මෙම විහාරස්ථානයේ වැඩසිටි ස්වාමින් වහන්සේලාගේ රූප දක්වා ඇත.
බෝධි ප්‍රාකාරය
පැරණිතම පොහෝ ගෙය දිරාපත් වු බැවින් අළුතින් පොහොය ගෙයක් ඒ මත ඉදි කර ඇත. එහෙත් පැරණි සීමාව ලකුණු කරන ලද පැරණි ගල් කණු එලෙසම අද දක්වාත් තිබේ.

මෙම විහාරස්ථානයට, ඌව පලාතට එමෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවටම මහග්‍ර සේවයක් කල, බුද්ධ ධර්මය වෙනුවෙන් තම ජිවිත කාලයම කැප කල ගරු ධර්මකිර්ති ශ්‍රී සරණපාල සුමංගල කර්මාචාර්ය අති ගෞරවාර්හ ඌව  වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මිරහාවත්තේ ජිනරතනාභිධාන නාහිමියන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කර 2011 සැප්තැම්බර් මස 15 දින අපවත් වුහ.

විහාර ගෙය
අද (2012 වර්ෂයේ) වර්තමානයේ විහාරස්ථානයේ කටයුතු භාරව ගරු ඇත්තලගෙදර ආනන්ද ස්වාම්න් වහන්සේ කැයුතු කරන අතර, මිරහාවත්තේ ජිනරතනාභිධාන නාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය ගරු මොරහෙල ඥණසිරි ස්වාම්න් වහන්සේ සහ ගරු මහල්පොත ඥණදීප ස්වාම්න් වහන්සේ යන දෙනම විහාරස්ථානයේ සහ දායක දායිකාවන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් අපකැපවී සිටින්නේ, තම අධ්‍යපන කටයුතු කරගෙන යන අතරතුරයි.


පැරණි ඝණ්ඨාර කුළුණ

අළුත් ඝණ්ඨාර කුළුණ

ධර්ම ශාලාව

පොහෝය ගෙය

ගරු මිද්දෙණියේ සරණපාල
 ස්වාමින් වහන්සේ

ගරු හීල්ඔය සුමංගල
 ස්වාමින් වහන්සේ

ගරු කිරිගල්පොත්තේ
දේවමිත්ත ස්වාමින් වහන්සේ

මිරහාවත්තේ ජිනරතනාභිධාන
නාහිමියන් වහන්සේ 

ගරු මොරහෙල ඥණසිරි
 ස්වාමින් වහන්සේ
විහාරස්ථානයේ ලිපිනය:
හීල්ඔය පුරාණ විහාරස්ථානය,
හීල්ඔය,
බණ්ඩාරවෙල.

දුරකතන අංක: 057 2232517 සහ 057 3575329

ඡායාරූප ගන්නා ලද්දේ 2012.07.20 සහ 2012.10.27 දින වල

No comments:

Post a Comment