Saturday 1 June 2013

ශ්‍රී සුදර්ශනාරාමය - බොරලන්ද

මෙම වෙබ් අඩවිය
2013 ජුනි මස 02 දින
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
විධායක ජනාධිපති
ගරු මහින්ද රාජපක්ෂ උතුමාණන්
 අතින්
හින්නාරංගොල්ල ශ්‍රී සුදර්ශනාරාමයේදී
විවෘත කරන ලදී.


ගලින් නෙලා ඇති සමාධි බුදු පිළිමය

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය, ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බොරලන්දේ පිහිටි හින්නාරංගොල්ල නම් ග්‍රාමයේ පිහිටා ඇති විහාරස්ථානයකී.

වාහල්කඩ
ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ප්‍රදේශයේ ඇති අනෙක් විහාරස්ථාන හා සැසදීමේදී විශේෂත්වයක් දක්වන විහාරස්ථානයකී. එම විශේෂත්වයට හේතුව වන්නේ, අනුරාධපුර, පොලොන්නරුව යුග වලින් පසු අභාවයට ගිය විහාරස්ථාන ගල් කැටයම් කලාව උපයෝගී කර ගෙන, විහාරස්ථානයේ නොයෙක් අංග, පිළිම, කැටයම්; ගල් කැටයම් උපයෝගී කර ගෙන නිර්මාණය කර තිබීමයි.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය


ගල් කැටයම් භාවිතා කර ගෙන විහාරස්ථානයේ අංග දියුණු කිරිමේ කාර්යය සදහා මුල පුරන ලද්දේ අද (2013 මැයි මස) වන විට වයස අවුරුදු 98 ක් පමණ වයසැති විහාරස්ථානයේ වැඩ සිටින ගරු විජයකෝන්ගෙදර සුමනතිස්ස නායක ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම හා උපදෙස් අනුකූලවයි.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය දෙස බැලීමේදී කාටත් පෙනෙන්නේ, නුතන යුගයේ ගල් කැටයම් කෞතුකාගාරයක් වශයෙනි.

ජය ශ්‍රී මහා බෝධියෙන්
 හට ගත් අංකුර බෝධිය
රාවණා රජුගේ පිළිමය, රාවණා රජුගේ දඩුමොණරයේ ආකෘති ගල් කැටයම කවුරුත් විශ්මයට පත් කරවන්නකී. එසේම විහාරස්ථානයේ ගල් කැටයමින් කැටයම් කර තැම්පත් කර ඇති ශ්‍රී පාද ලංඡනයේ කැටයම කාගේත් මනදොල, කරුණාව, මෛත්‍රිය, බුද්ධාලමබන ප්‍රීතිය වැඩිකරවයි.

එසේම විහාරස්ථානයේ විවිධ ස්ථානවල ඇති විවිධ සදකඩ පහන්, මුරගල් එකකට එකක් විවිධයි. රජවරුන්ගේ පිළිම, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම, සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩමවීම මේ ගල් කැටයම් අතර ඇති කැටයම් සමහරකී.

ගල් කැටයමක්
බුදු මැදුරට ප්‍රවිශ්ඨ වන තැන ගල් කැටයම් සහිත ගල් උළු වස්සකී. මෙම ගල් උළුවස්ස මෙම විහාරස්ථානයේ මුලින්ම කරවන ලද ගල් කැටයමයි.

විහාරස්ථානය පිළිබදව ඉතිහාස ගත තොරතුරු ගෙන හැර බැලීමේදී, 1860 වර්ෂයේදී පමණ හෙවන කුඹුරේ දේවරක්ඛිත මහානායක ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන්, මෙම හින්නාරංගොල්ලේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ආරම්භවිය. මෙම විහාරස්ථානය ඉදි කිරිම පිණිස මෙම ග්‍රාමයේ එනම් හින්නාරංගොල්ලේ එවකට විසු සේදරමන් ගණපතිතුමා විසින් ඉඩමක් පරිත්‍යග කර ඇත.  එසේම ලියනොරිස්අප්පු උපාසක මහතාත් මෙම විහාරස්ථානයේ සංවර්ධනය උදෙසා ඉඩම් පරිත්‍යාග කර ඇත.


බුදු මැදුර

ගරු හෙවන කුඹුරේ දේවරක්ඛිත හිමියන්, ගරු ගම්පහ ඤණරතන හිමියන්,ගරු රත්තනේ ධම්මරතන හිමියන් සහ ගරු විජේකෝන්ගෙදර සුමනතිස්ස හිමියන් (වර්තමාන) විහාරස්ථානයේ අභිවෘර්ධිය වෙනුවෙන් කැපවුනු හිමිවරුන්ය.


මුර ගලක්
ගරු රත්නනේ ධම්මරතන හිමියන්ගේ කාල පර්ච්ඡේදය තුල මෙම විහාරස්ථානයේ ශ්‍රී නාමය ප්‍රසිද්ධවන්නට වුයේ ගරු රත්තනේ ධම්මරත්ත හිමියන් සිංහල සර්වාංග වෛද්‍යාවරයෙකු වු බැවිනි.

1860 වර්ෂයේ ආරම්භවු විහාරස්ථානයක් වු බැවින් මුල් කාලයේ මෙම විහාරස්ථානයේ චිත්‍ර හා මුර්ති අතින් අලංකාර මෙන්ම දර්ශනිය විහාරාමයක්ව තිබුණු බව පැවසේ. එවකට විහාර මන්දීරය, සංඝාවාසය, ධර්මශාලාව, චෛත්‍යය හා බෝධිය යන අංග වලින් සමන්විතව තිබි ඇත.

විහාරස්ථානයේ බෝධින් වහන්සේ නමක් රෝපණය කර ඇත්තේ 1865 වර්ෂයේදීය. 1909 වර්ෂයේදී මුර්ති හා කැටයම් සහිත අලංකාර විහාරයක් විහාරයක් නිර්මාණය කර ඇත.

ගල් කැටයමක් - නෙළුම් පත්‍රයක්
පැරණි ලැගුම්ගෙය 1860 වර්ෂයේදිත්, 1913 වර්ෂයේදී ධර්මශාලාවක්ද, 1927 වර්ෂයේදී චෛත්‍යය සදහා මුල්ගලද තබා ඇත. එහෙත් කාලයාගේ ඇවැමෙන් 1865 දී රෝපණය කෙරුණු බෝධින් වහන්සේගේ අතු සහ මුල් නිසා විහාරස්ථානයේ තිබු සියළුම ගොඩනැගිලි හා මුර්ති කැටයම් වලට හානි සිදු වන්නට වුයෙන්, එම බෝධින් වහන්සේ එතැනින් ඉවත් කිරිමට සිදුවිය.  ඒ නිසා අද 1865 දී රෝපිත බෝධින් වහන්සේ විහාරස්ථානයේ අද දක්නට නැත.

සදකඩ පහණක්
එම බෝධින් වහන්සේගේ අඩුව පිරවීම සදහා අනුරාධපුරයේ ඇති ජය ශ්‍රී මහා බෝධියෙන් හට ගත් අංකුර බෝධියක් මෙහි රෝපණය කර ඇත.

1927 වර්ෂයේදී ඉදි කරන්නට යෙදුනු චෛත්‍යය 1972 වර්ෂයේදී පරිවාර චෛත්‍ය 4 ක් සහිතව ප්‍රතිසංස්කරණය කෙරිනි.

18 රියන් සැතපෙන පිළිමය
විහාරස්ථානයේ පැරණි විහාර මන්දීරය, මැටි වරිච්චි භාවිතයෙන් සදා තිබුන් නිසා පැරණි බිතු සිතුවම් හා මුර්ති විනාශ වන්නට වුයෙන්, එම පැරණි විහාර මන්දීරය එතැනින් ඉවත් කොට 1978 වර්ෂයේදී අභිනව විහාර මන්දීරයක් ඉදි කිරිම ආරම්භ කරන ලදී.

ඉපැරණි සමාධි පිළිම වහන්සේ
අභිනවයෙන් ඉදි කර ඇති විහාරමන්දිරයට පිවිසෙන තැන ඇත්තේ කැටයම් සහිත ගල් උළුවස්සකී. ගල් උළුවස්ස  පසු කර විහාර මන්දීරය තුලට පිවිසිමේදී ඉදියෙන් ඇත්තේ පැරණි විහාරයේ වැඩ සිටි මැටියෙන් ඉදි කර වර්ණ ගන්වා ඇති සමාධි පිළිම වහන්සේය. එම පිළිමය 1909 වර්ෂයේ සිටම මෙම විහාරස්ථානයේ ඇති පිළිමයකී. විහාරස්ථානයේ 18 රියන් සැතපෙන පිළිමයක් ද ඇති අතර එහි 2003 වර්ෂයේ අගෝස්තු මස 05 දින නේත්‍රා ප්‍රතිෂ්ථාපනය සිදු කර ඇත.

ගල් උළුවස්ස
එසේම විහාරමන්දීරයේ දකුණු අත පැත්තේ ඇත්තේ විමලරත්න ගල් කැටයම් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද ගලින් නෙලන ලද සමාධි පිළිමයයි. එම සමාධි පිළිමය 2013 ජුනි මස 02 දි ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් නිරාවර්ණය විය.

ගරු රත්තනේ ධම්මරතන හිමියන්ගේ කාල පරිච්ඡේදය තුල මෙම විහාරස්ථානයේ පැවැති ශ්‍රී නාමය එම හිමියන්ගේ අපවත්වීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් අඩුවන්නට විය. එහෙත් විහාරස්ථානයේ වැඩ සිටින (දැනට 98 වියේ පසුවන (2013 වන විට)) ගරු විජයකොන්ගෙදර සුමනතිස්ස හිමියන්ගේ මගපෙන්වීම යටතේ, පුංචි අනුරාධපුරයක්, පුංචි පොලොන්නරුවක් බවට විහාරස්ථානය පත් කිරිම ආරම්භවිය. ඒ විහාරස්ථානයට ගල් කැටයම් කලාව ඉදිරිපත් කිරිමෙනි. ඇල්ලේ චාර්ලිස් ගල් කැටයම් ශිල්පියාගෙන් පසු එස්. කේ. විමලරත්න ගල් කැටයම් ශ්ල්පියා විසින්, විහාරස්ථානයේ ගල් කැටයම් නිර්මාණය කෙරිනි.

ගල් කැටයමක් - දන්ත ධාතුන් වහන්සේ
ශ්‍රී ලංකාවට ගෙන ඒම
අද ප්‍රදේශයේ අංග සම්පුර්ණ විහාරස්ථානයක් බවට පත්ව ඇත. එසේම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය දෙස බැලීමේදී කාටත් පෙනෙන්නේ, නුතන යුගයේ ගල් කැටයම් කෞතුකාගාරයක් වශයෙනි.

ගරු විජයකොන්ගෙදර සුමනතිස්ස
ස්වාමින් වහන්සේ


ගල් කැටයමක් - නාරිලතා මල

ගල් කැටයමක් - සිරි පතුල

ගල් කැටයමක් - සිරි පතුල

ගල් කැටයමක් - ගණ දෙවියන්

ගල් කැටයමක් - බෙර කරුවෙක්

ගල් කැටයමක් - දඩුමොණරය

සිරි පතුල් ගල තැම්පත් කර ඇති වේදිකාව

එස්.කේ විමලරත්න ගල් කැටයම් ශිල්පියා

එස්.කේ විමලරත්න ගල් කැටයම් ශිල්පියා

ගල් කැටයමක් - ඉසුරුමුණි පෙම් යුවල

ගල් කැටයමක් - විමලසුරේන්ද්‍ර මහතා

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුදර්ශනාරාමය,
හින්නාරංගොල්ල,
බොරලන්ද.

දුරකතනය: 057 2280347
විද්‍යුත් තැපැල: hinnarangolla@gmail.com

Facebook: www.facebook.com/sri.sudharsanaramaya





2 comments:

  1. Nice web page with lot of important and interesting information.

    ReplyDelete